ජැක්‌සන්ගේ ''අබා'' අගෝස්‌තුවේ වැඩ ඇරඹේ

ප්‍රතිභාපූර්ණ රූපණවේදී ජැක්‌සන් ඇනතනී අධ්‍යක්‍ෂණය කිරිමට සූදානම් වන 'අබා' නම් වූ දැවැන්ත ඓතිහාසික චිත්‍රපටයේ රූගත කිරිම් අගෝස්‌තු-සැප්තැම්බර් දෙමස තඹුත්තේගම, කලා වැව, දැදුරු ඔය වැනි ප්‍රදේශ වලදී සිදුකිරිමට නියමිතය. මෙහි ප්‍රධාන චරිත සඳහා රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා, සෞම්‍ය ලියනගේ, සජිත අනුත්තර යනාදීන් දැනටමත් තෝරා ගෙන ඇති අතර තවත් ප්‍රධාන චරිත කිහිපයක්‌ සඳහා නවක නළු නිළියන් කිහිප දෙනෙකුට අවස්‌ථාව ලබාදීමට ජැක්‌සන් බලාපොරොත්තු වේ.

වසරක කාලයක්‌ම ඔහු මේ පිළිබඳ සෙවිල්ලෙන් සිටියේය. මෙහි යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ සහ සිංහල වාංශිකයන්ගේ චරිත සඳහා ද නළු නිළියන් අවැසිව ඇති හෙයින් කාල වර්ණ සම ඇති සහ සුදු පැහැති සම ඇති, හැඩි දැඩි, රැවුල් කොණ්‌ඩා වවාගත් පිරිමි, ගැහැණු ළමයින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

ප්‍රධාන චරිත සඳහා ඇවැසි නළු නිළියන්‌ද කාල වර්ණ හැඩි දැඩි පෙනුමැති, රැවුල් කොණ්‌ඩා වවා ගත් අයවිය යුතු අතර ඔවුන් සටන්වලට හා නැටුමට දක්‌ෂතා ඇති අය වීමද අත්‍යාවශ්‍යය.

'අබා' චිත්‍රපටයට ඇතුළත් වන්නේ අනුරාධපුර යුගයේ මුල් සමයේ විසූ පණ්‌ඩුකාභය කුමාරයාගේ ඓතිහාසික කථාන්තරයයි. පඬුවස්‌දෙව් රජුගේ මාළිගාව තඹුත්තේගමද, දොරමඬලාව ගත දඹූල්ලේදීද විශාල පිරිවැයක්‌ දරා මේ වෙනුවෙන්ම ඉදි කෙරේ. උදේනි සුබෝධි කුමාර මෙයින් සිනමාවට පිවිසෙන නවතම කලා අධ්‍යක්‌ෂවරයායි. ඔහු මෙයට පෙර පුංචි තිරයේ පසුතල නිර්මාණ රැසකට දායක වී ඇත.

දැනට ගණන් බලා ඇති පරිදි 'අබා' මේ වන විට ලාංකේය සිනමාවේ වැඩිම පිරිවැයක්‌ දරා නිපදවන චිත්‍රපටය වනු ඇත. ජස්‌ටින් බෙලගමගේ මෙයින් දොරට වඩින නවතම අර්ථපතියාය. පුළුල් තිර (Wide Screen) ඉහළම ඩොල්බි ඩිජිටල් ස්‌ටේඩ් කෑම්ප් තාක්‌ෂණයෙන් රූගත කිරිමට නියමිත මේ චිත්‍රපටය සඳහා ඉන්දියාවෙන් නව කැමරාවක්‌ ගෙන්වීමටද නියමිතය.

කැමරා අධ්‍යක්‌ෂණයෙන් සුමින්ද වීරසිංහ ද සංගීත අධ්‍යක්‌ෂණයෙන් රෝහණ වීරසිංහ ද, ගේය පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ද මේ සඳහා දායක වෙති. 'අබා' සඳහා එකවීමට කැමති සියලු නළු නිළියන් 'අබා' මන්දාකිණි චිත්‍රපට නිෂ්පාදන, 830, රොහීනා මාවත, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට තම අයදුම්පත් යොමු කළ හැකි බව ජැක්‌සන් පැවසීය. ඓතිහාසික චිත්‍රපට ඉතා අල්පයක්‌ හැදුණු රටක, ඉතිහාසය මැනවින් හදාළ කලාකරුවකු වන ජැක්‌සන් ඓතිහාසික චිත්‍රපටයක්‌ සඳහා මැදිහත් වීම සිනමාවේ සුබ ලකුණක්‌ වනු ඇත.

මින් ඉහත 'ජුලියට්‌ගේ භූමිකාව' (1998) තැනූ ඔහු දශකයකට පසුව අත තබන ස්‌වකීය දෙවැනි සිනමා නිර්මාණය 'අබා' වනු ය.

සරසවිය - නුවන් නයනජිත් ( 17/05/2007 )