අබා ට ලක්‍ෂ 500 ක්‌

ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක්‌ වෙනුවෙන් මෙතෙක්‌ වැය කළ චිත්‍රපටය හැටියට ප්‍රවීණ රංගනවේදී ජැක්‌සන් ඇන්තනීගේ අබා හදුන්වන්න පුළුවනි. රුපියල් කෝටි පහකට වඩා වැයකොට තැනු මෙහි රුගත කරිම් මේ වන විට සම්පුර්ණයෙන්ම වාගේ හමාර වී තිබෙනවා. ප්‍රවීණ නිලි මාලනී ෆොන්සේකාගේ සිට ජාත්‍යන්තර කීර්තියට පත් ළමා නිළි සරලා කාරයවසම් දක්‌වා නිළි කැලක්‌ සහ අපට සිටි ශ්‍රේෂ්ඨතම රංගනවේදියෙකු වන රවින්ද්‍ර රන්දෙණියගේ සිට ළමා නළු සජිත් අනුත්තර දක්‌වා ප්‍රවීණ, පළපුරුදු සහ ආධුනික නළු නිළියන් 570 ක්‌ පමණ සහභාගි වන අබා නිෂ්පාදන කටයුතු කටයුතුවල වැඩ අවසන් කොට තිබෙන්නේ කොහොමද?

මේ දැවැන්ත සිනමා නිර්මාණයේ අධ්‍යඬ ජැක්‌සන් ඇන්තනීගෙන් ඒ ගැන විමසමු

මෙහි නිෂ්පාදන දායකත්වය ගැන සදහන් කළොත් ?
මන්දාකිණි ක්‍රියෙෂන්ස්‌ සමාගම වෙනුවෙන් ජස්‌ටින් වෙලගමගේ සහ රජීන්ද්‍රා ගුණවර්ධන යන දෙපළ මෙහි නිෂ්පාදනයෙන් හවුල් වෙනවා

කොපමණ මුදලක්‌ මෙම චිත්‍රපටයට වැය කරන්න සිදුවුනාද ?
රුපියල් කෝටි 5 කට වඩා දැනට ඇස්‌තමේන්තු ගත කොට තිබෙනවා

නළු නිළි පිරිස ?
ප්‍රවීණයන්ගේ සිට පළපරුදු සහ ළමා නළු නිළියන් ඇතුළු සමසත නළු නිළි පිරිස 570 ක්‌ විතර.

කතා තේමාව ?
පණ්‌ඩුකාභය කුමාරයාගේ කතාව ඔහු කුඩා කල හැඳින්වුනේ අබා නමින්. තුරුණු වියේදී පඩු අබා වෙනවා පණ්‌ඩුකාභය කියන්නේ සංස්‌කෘතික වචනයයි.

දැනට රූපගත කිරිම් හමාරද ? තවදුරටත් කරගෙන යනවද ?
දැනට රූපගත කිරිම් 100% ක්‌ම වගේ හමාරයි.

එතකොට මේ දිනවල?
මේ දිනවල මුලික සංස්‌කරණ කටයුතු පටන් ගත්තා. ටී.වී.ටී. ( TVT ) ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ ප්‍රමුඛ සංස්‌කරණ මඩුල්ල එය කරගෙන යනවා.

මෙහි සැලසුම් කටයුතු සිදු කළ හැටි කිව්වොත් ?
ඇත්තටම වසර 10 ක්‌ පමණ පුරාවට මම කළ පර්යේෂණ කටයුත්තක අවසානය මෙය හැටියට හඳුන්වන්න පුළුවන්. තවමත් එහි වැඩ නිම නැහැ. එය සම්පූර්ණ වෙන්නේ මෙය තිරගත වූ දාටයි.

මෙය ක්‍රී: පූ: 4 වන සියවසට අයත් කතා පුවතක්‌. ඒ කාලය සහ ඊට අදාල චරිත සඳහා ඇඳුම් ආයිත්තම් සහ පසුතල නිර්මාණය කළේ කොහොමද?
මෙහි ඇඳුම් නිර්මාණ කටයුතු කරන්නෙ නිල්හාන් සෙනෙවිරත්නයි. ඔහු නළු නිළියන්ට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් සොයන්න සති කීපයක්‌ පුරාවට ඉන්දියාවේ සැරිසැරුවා. එහෙම ඇවිදලා ගිහින් තමයි ඒවා සොයාගෙන ආවේ. ඊළගට කලා අධ්‍යක්‌ෂණය කරන උදේනි සුබූදි කුමාර සහ වේෂ නිරූපණය කරන ප්‍රවීණ ශිල්පී වසන්ත විට්‌ටච්චිට පවා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්න ඉන්දියාවට යන්න සිදුවුණා. ප්‍රධාන පසුතලය ඇතුළු චිත්‍රපටයේ පසුතල නිර්මාණ ගැන උදේනි මා සමග වසර 5ක්‌ විතර සැලසුම් කළා.

ප්‍රධාන පසුතලය හදපු හැටි කිව්වොත්
ප්‍රධාන රජ මාළිගය තනන්න අපි තෝරාගත්තේ රාජාංගනයේ අංගමුව කියන ප්‍රදේශයයි. එය ඇතුළු පසුතල සෑදීම සඳහා විතරක්‌ ලක්‌ෂ 100කට වඩා මුදලක්‌ වැය කරන්න සිදු වුණා.

මේ රජ මාලිගය නැරඹීමට දිනපතා මිනිසුන් පැමිණියා නේද?
ඇත්තටම මේ රාජාංගනය ප්‍රදේශයේදී මේ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තාම ඒ මුළු පළාතටම අලුත් නවෝදයක්‌ ඇති වුණා. දවසකට මිනිසුන් 5000 කට වඩා වැඩි පිරිසක්‌ දිවයිනේ නොයෙක්‌ ප්‍රදේශ වලින් මෙතැනට පැමිණියා. ඒ හින්දා මේ ප්‍රධාන පසුතලය (රජ මාළිගය තැනූ) අවට තේ කඩ, තොරම්බල් කඩ, බඩ ඉරිගු කඩ ආදී බොහෝ සල්පිල් පවා ගමේ මිනිසුන් පටන් ගත්තා. ඒ එන අයගේ වාහන නතර කරන්න කාර් පාර්ක්‌ (වාහන අංගන) පවා ගමේ අය හැදුවා. දවසක්‌ රූගත කිරිම් බලන්න ආපු මගේ බිරිඳ කුමාරිට වාහනය ඒ අංගනයක නතර කොට මුදල් ගෙවා එන්න සිදු වුණා. තඹුත්තේගම හංදියේ සිට වෙනමම සෆාරි සේවයක්‌ සේවයක්‌ පටන් ගත්තා. චිත්‍රපටියේ රූගත කරන හැටි, නළු නිළියෝ ඇද පැළද සිටින හැටි ආදී සියලු දේ නරඹන්නට ලැබෙන ඒ සෆාරිය වෙනුවෙන් රුපියල් 1500ක්‌ විතර අය කළා ලු. මෙන්න මේ වගේ විශාල වෙනසක්‌ ඒ ගම පුරාවට ඇති වුණා.

ප්‍රධාන රජමාලිගය වෙනුවෙන් තැනූ ඒ රජමාලිගය දැන් මොනවටද පාවිච්චි කරන්නේ ?
එහි ලී බඩු ඇතුළු තැනීමට වැය කළ අමුද්‍රව්‍ය රාජාංගනයේ තිබෙන යුද හමුදා කඳවුරේ ප්‍රයෝජනයට දුන්නා. අනෙක්‌ දේවල් ගමේ පන්සලේ වැඩකටයුතු සඳහා ලොකු හාමුදුරුවන්ට බාර දුන්නා. දැන් එතැන මොනවත් නැහැ

චිත්‍රපටයට සහභාගී වූ පිරිසට කෑම බීම ඉදුම් හිටුම් සැපයූයේ කොහොමද?
මෙහි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළේ සමන්ප්‍රීය මාරසිංහයි. 675 ක පමණ පිරිසකට කෑම උයන්න 25ක්‌ පමණ පිරිසක්‌ හිටියා. වෙනමම ළිඳක්‌ හාරා වතුර ටැංකියක්‌ සාදා ඒ පිරිසට වතුර සැපයූවා. ඉඳුම් හිටුම් සඳහා ඒ මුළු නගරයේ තිබුණු ප්‍රධාන හෝටල වෙන් කරවා ගත්තා. ඒත් ඒවා ප්‍රමාණවත් නොවූ නිසා ගමේ ඉස්‌කෝල වල ගොඩනැගිලි, පන්සල් වල ගොඩනැගිලි පවා ඉල්ලා ගන්න සිදු වුණා. ඒවා ඉඩකඩ මදි වූ නිසා තරුණ සේවා සභාවෙන් ටෙන්ට්‌ ඉල්ලාගෙන වෙනම හට්‌ තනා ගත්තා. විදුලිය සපයන්න වෙනමම ජෙනරේටර් ආදිය යොදා ගන්න සිදු වුණා.

තඹුත්තේගම පළාත වසර පුරාවට හරිම රස්‌නෙයි. ඒ නිසා වේෂ නිරූපණ කටයුතු සඳහා නළු නිළියන් හැඩ ගන්වන්න වෙනමම වායුසමන කුටි හදන්න සිදු වූණා.

මුහුණ දුන් බරපතලම සිදුවීම් මොනවාද?
සොබා දහම සමග තිබූ ගණුදෙනුව තමයි බරපතලම ප්‍රශ්නය වුණේ. ඒ පලාතට වහන්නෙ වසරකට දෙපාරක්‌ විතර. ඒ වහින වැස්‌ස මොර සූරන්න වහිනවා. චිත්‍රපටයට අදාල ප්‍රධාන ගම්මානය හෙවත් දොරමඩලාව තැනුවේ නියගයට සිදීගිය අක්‌කර 25ක පමණ ඉඩකඩක්‌ ඇති නොච්චියාගම ඊවිටිකුළම කියන වැවේ භූමි ප්‍රදේශයේ යි.

නියගය නිසා සිදී ගිය වැවේ මැද හරියේ විශාල භූමි ප්‍රමාණයක කුඹුක්‌ ගොල්ලක්‌ මතුවෙනවා. ඒ පසුතලය වෙන කොහේවත් නැහැ. ඒ නිසා එතැන දොරමඩලාවට තෝරා ගත්තා. රූගත කිරිම් කරගෙන යද්දි හතර වටින් කළු කරගෙන හෙණ පුපුරණ හඩ අහෙන්න පටන් ගත්තා. ඒත් වැස්‌සෙ නැහැ. අවසන් දින කීපය පුරාවට අපි හිටියේ පුදුම චකිතයකින්. කොයි වෙලාවේ වැස්‌ස වැටේවිද කියන බය ඇතිව හිටියේ. කොහොම හරි අන්තිම දවසේ අන්තිම රූප රාමු පෙළ රූගත කරලා හමාර වෙලා කට්‌ කියනවත් එක්‌කම මොර සූරන වැස්‌ස වහන්න පටන් ගත්තා. බලාගෙන ඉදිද්දි වැව ජලයෙන් පිරි ගියා. බැරි වෙලාවත් මීට දින කීපයකට පෙරදී එය වුණා නම් අපි ඉවරෙටම ඉවරයි. ආයෙ අවුරුදු ගාණක්‌ යනකල් මෙහි වැඩ ඉවර කරන්න බැරි වෙනවා. කොහොම හරි දෙයියන් බුදුන් සිහි කරලා තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඒ වෙනුවෙන් පුද පූජා පවා පැවැත්වූවා. ඒවායේ ආනිශංස, ආශිංසන අපට ලැබුණා. ඒ සියල්ල යහපත් විදියට හමාර කරන්න අපිට පුළුවන් වුණා.

සඳුන් ගමගේ - ලංකාදීප සඳැල්ල (04/නොවැ /2007 )