අබා රජ මාළිගය කරා

කොන්ක්‍රීට්‌ වනාන්තරයෙන් එපිට වන වදුලෙන් නොතොර සුන්දර රාජාංගණයේ ඉදි වී ඇති පණ්‌ඩුකාභය මාලිගාව බැලීමට ගිය මේ ගමන මේ මොහොතේත් අප හද සුව කැඳවන්නකි.

ආඩිගල රජ මහ වෙහෙර, රාජාංගණය යාය 6 අක්‌කර ගණනාවක වපසරියකින් යුත් පින් බිමක ජැක්‌සන් ඇන්තනී නම් චිත්‍රපට අධ්‍යක්‌ෂවරයා ගේ නිර්මාණය වෙනුවෙන් වූ පණ්‌ඩුකාභය මාලිගාව ඉදිව තිබිණ.

පඩුවස්‌දෙව් රජුට හා භද්දකච්චානා අගබිසවට දාව උපන් දස කුමරවරුන්ට පසු ව උපන් එක්‌ කුමරියක වුවා ය. ඒ උන්මාද චිත්‍රාවයි. එම උන්මාද චිත්‍රාව සහෝදරවරුන් විසින් එක්‌ ටැම් ගෙයක සිරකැර තබනු ලැබුවාය. ඒ ඇගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඇය විවාහ වී පුත්‍ර ලාභයක්‌ ලැබෙතොත් මාමාවරුන් මරා රජ වන බවට ලැබු නිමිති වැකියක්‌ නිසාවෙනි. කෙසේ වුව ඇය එක්‌ ටැම් ගෙයිම පුතකු වැදුවා ය . ඒ පණ්‌ඩුකාභයයි.

ඉතිහාසය පුරා තවමත් විසදාගත නොහුණු ප්‍රශ්න වැලක්‌ ඇත. පණ්‌ඩුකාභයගේ පියා කවරෙක්‌ද යන්න ඉන් එකකි. බොහෝ දෙනා පිළිගන්නේ පණ්‌ඩුකාභයගේ පියා දීඝජන්තු බවය. එහෙත් චිත්‍රාවගේ එක්‌ ටැම් ගෙය මුර කරන ලද්දේ චිත්තරාජ ය. මහ රජු ගේ සපනයෙන් එක්‌ටැම් ගෙයට පිවිසිය යුතු ආකාරයට එය නිමවා තිබිණ. පණ්‌ඩුකාභය කිසිවිටක දීඝජන්තුට සැලකූ බවත් ඉතිහාසයේ නැති අතර චිත්තරාජ හා ඔවුගේ මිත්‍ර කාලවේල මුදුනින් තබා හෙතෙම ප්‍රීති උත්සව පවා පවත්වා තිබේ. එසේ නම් පණ්‌ඩුකාභයගේ පියා දීඝජන්තු ද? චිත්තරාජ ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට දැන් චිත්‍රපට අධ්‍යක්‌ෂ ජැක්‌සන් ඇන්තනීට සිදුවී තිබේ.

චිත්‍රපට අධ්‍යක්‌ෂ ප්‍රවීණ රංගධර ජැක්‌සන් ඇන්තනී චිත්‍රපට ගැන අදහස්‌ දැක්‌වුයේ ඉතාම විශ්වාසයකින් යුතුවයි.
අපේ රටට ඉතිහාසය, වීර කතා සම්ප්‍රදායය අලුත් දේවල් නොවේ. මේවා කාලයක්‌ තිස්‌සෙ මිනිසුන්ගෙන් ඈත් කැර තිබුණා. මේ වීර කතා සම්ප්‍රදාය හරියට කළොත් අපට වෙන ම සිනමා සාහිත්‍යයක්‌ ලියන්න වේවි. අබා තුළින් තමයි මේ රටේ සැබෑ සිනමා වීර කතාව ඇරැඹෙන්නේ. ඒ සදහා විශාල අභියෝගයක්‌ මට තිබෙනවා. අපට මුදල් නැහැ කියලා ලෝක තාක්‌ෂණයේ පිහිට නොලබා දිළිදු නිර්මාණ කරන්න බෑ. පාරාවෝ රජුන් ගැන දස පණත ගැන හැදුණු චිත්‍රපට මතකද? දැන් අපට තරග කරන්න තිබෙන්නේ හැරි පොටර් ටයිටැනික්‌ ලෝඩ් ඔෆ් ද රින් වැනි විශාල තාක්‌ෂණයක්‌ පාවිච්චි කළ චිත්‍රපට එක්‌ක. ඒවා අතර තරගයක්‌ දෙන්න විශිෂ්ට කතා අපට තිබෙනවා. අප මේ විවෘත කරන්නේ සංස්‌කෘතික ගේට්‌ටුවක්‌.

සිංහල සිනමාවට අතරින් පතර වීර පුරන් අප්පු වැනි චිත්‍රපට එක්‌ වුව ද ඒ හැම චිත්‍රපටයක්‌ ම ඛේදාන්ත දෘෂ්ටියකින් කෙළවර වු ඒවා ය. මේ අනුව සිංහල සිනමාවේ වීර කතා සම්ප්‍රදාය ඇරැඹෙනුයේ අබා තුළිනි.

අනුරාධපුරයට කිට්‌ටු තඹුත්තේගම රාජාංගනයේ යාය හය ආඩිගල රජ මහා වෙහෙර දැන් පණ්‌ඩුකාභය මාලිගාව ඉදිව ඇත්තේ ය. ගල් පවුරින් හා සෙවණි වු තුරු වදුලින් මධ්‍යගත වු මේ බිම ද ඓතිහාසික තැනෙකි. මේ යෝධ මාලිගා හා ඒ හා සැබැදි පවුරු, අගල් ආදී නිර්මාණ විස්‌මිතය.

අබා ගැන කැමරා අධ්‍යක්‌ෂණය කරන සුමින්ද වීරසිංහයන් මෙසේ කියයි. මා උප්පලවණ්‌නා. කරලා ඉවරවු සැණින් පණ්‌ඩුකාභයට අත ගැසුවේ මිත්‍ර ජැක්‌සන් නිසයි. මෙය සිංහල සිනමාවේ අති දැවැන්ත නිර්මාණයක්‌ වේවි. මෙහි පසුතලය, චරිත සියල්ලම ගැඹුරින් සිනමාවට උචිත ආකාරයෙන් ගොඩනැගීම අභියෝගයක්‌. ඒත් ඒ අභියෝගය ජයගන්න අධ්‍යක්‌ෂවරයාගෙන් හා අප එක්‌ව බැදුණු ජාතික කර්තව්‍යයේ ගිහි පැවිදි නියමුවන් උදව් කරනවා.

නිධානය, ගම්පෙරළිය, රේඛාව, සත් සමුදුර, තුංමංහන්දිය වැනි චිත්‍රපට මෙරට සිනමා සංස්‌කෘතියේ ස්‌වර්ණමය සංකේත ඒවායින් මෙරට සංස්‌කෘතියට හරවත් යමක්‌ ඉතිරි කළා. සිනමාව තරමක්‌ ආබාධිතව වෙසෙද්දී මුදල් යොදන්නට ඕනෑ තරම් ක්‍රමවේද තිබියදී ඔබ මෙතරම් සුවිසාල මුදලක්‌ යොදවන්නේ ඇයි?

එම චිත්‍රපටය සදහා ජැක්‌සන් ඇන්තනී නම් අධ්‍යක්‌ෂවරයාම තෝරාගන්තේ ඇයි?
මගේ දීර්ඝ ප්‍රශ්නය පණ්‌ඩුකාභය මාලිගය නිමවා තිබු බිම දී මම එහි නිෂ්පාදනක ජස්‌ටින් බෙලගමගේ ගා රැජින්ද්‍රා ජයසිංහ මහත්ම මහත්මිනට ඉදිරිපත් කෙළෙමු.

ජැක්‌සන් ඇන්තනී නම් වු ඒ කලාකරුවා කරන කියන දේ පිළිබදව අපි හරි වැටහීමකින් හිටියා. මෙවැනි කර්තව්‍යයක්‌ ඔහු ලවා කරවා ගන්නා අදහසින් මා තමයි මුලින් ම ඔහු හමුවුණේ. අපේ රටට ඉතිහාසය යළි කියැවීමක්‌ අවශ්‍යයි. මේ කාර්යය ඉතා හොදින් කරන්න ජැක්‌සන්ට පුළුවන් බව මා දන්නවා. මෙවැනි කෘතියක්‌ ජාතියට එක්‌ කිරිමට කැමැත්තෙන් මා නිෂ්පාදනයට එක්‌වන්නේ.
ඔහුගේ කතාවේ යළි අරුත අබා ලෝක සිනමා වෙළෙද පළ ගැනද බලාපොරොත්තුවක්‌ තැබිය හැකි අයුරින් නිමවන බව යැයි සිතමි. එය ඉතාම කාලෝචිත වැඩෙකි. නැත්නම් තිබෙන සිනමාහල් කීපයෙන් හා රිල් 16 කින් අපට මේ ගමන දුවන්නට බැරිය.

මහාවංසය තුළ ගැටුමක්‌ ඇති කැර ඇති පණ්‌ඩුකාභයගේ පියා කවුරුන් දැයි යන ප්‍රවේණි ප්‍රශ්නයට සිනමාත්මක පිළිතුරක්‌ මින් ලැබෙයි. ඒ පිළිතුරින් හෙළිදරව් වන්නේ රුහුණු මහා රාජ වංශයේ උප්පත්ති කතාවයි. උත්පත්ති කථා, පුරාණෝක්‌ති ආදිය ජනශුතික මිථ්‍යාවක්‌ ලෙස සැලකීම නිවැරදි නැත. ඒවා තුළ ගැබ් වන ඓතිහාසික මානව සම්බන්ධතා සර්ව කාලීන ය. වර්තමාන ජන සමාජයට ධනාත්මක චින්තනය එන්නත් කරන්නට මේ වීර කතා සම්ප්‍රදායට හැකිවේ යැයි ජැක්‌සන් අදහයි. අබා ඒ වෙනුවෙන් බව ද කියයි.
රුපියල් මිලියන ගණනක (රුපියල් ලක්‍ෂ 65 ක) වියදමින් ඉදිකැර ඇති මේ මාලිගාවේ ඉදිරි ද්වාරයන්, සී මැදුරු කවුළු සජීව ආකාරයෙන් ම නිමවා තිබීම පුදුම සහගත ය. මෙහි එක්‌ ද්වාරයක්‌ අඩි 60 - 70 ක්‌ පමණ වෙයි. අබා මාලිගාව මතුයෙහි වු විශාල ගල් පවුරකි.
පුරාණ ලංකා ඉතිහාසය විමසන විට දිය අගල් හා වෙනත් සතුරන් වළකන උපක්‍රම සේ ම මහා ගල් පවුරු ද මාලිකා ආවරණය කර ඇත්තේ ය.

මේ සුවිසල් මාලිගය ඉදි කළ ඒ පුංචි මිනිසා මට හමු විය. ඔහු ගේ නම උදේනි සුබෝධි කුමාර ය. ඔහු ගේ පුංචි දැතින් විසිතුරු වු මේ දැවැන්ත මාලිගාව මගේ කුහුල වඩවයි. මෙවැනි ඓතිහාසික චිත්‍රපටවල දැවැන්ත පසුතල නිර්මාණ කිරිම අභියෝගයක්‌ නොවේ දැයි මම ඔහු ගෙන් විමසීමි. ඔහු ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.

මේ පසුතල නිර්මාණ වගේ ම පණ්‌ඩුකාභය මාලිගාව මා නිම කළේ පුදුමාකාර සතුටකින්. අක්‌කර ගණනාවක්‌ පුරා විසිර පවතින මේ භූමි භාගයේ එවැන්නක්‌ නිර්මාණය කිරිමට අවශ්‍ය පහසුව හා සැහැල්ලුව තිබුණා. සමහර අමුද්‍රව්‍ය සොයා ගැනීමට ඉතා ම අපහසු වුවත් ඒ කටුකත්වය මැද සුන්දරත්වයක්‌ මතුවුණා. හැම විට ම අධ්‍යක්‍ෂකවරයාගෙන් ලැබුණු උපදෙස්‌ මට වැදගත් වුණා. දැනට අති විශාල මුදලක්‌ මේ සදහා වැය කර තිබෙනවා. මුදල් ගැන නොසිතා නිර්මාණය ගැන අවංක අධ්‍යක්‍ෂවරයෙක්‌ ඉන්නා නිසා මාලිගාව ඉදිකිරිමට පහසු වුණා. ඒත් මාලිගාවේ නිමාව මීටත් වඩා විශ්මිතව කරන්නයි මගේ වෑයම....

ඔහු වඩාත් උද්දාමයෙන් කීය. මේ බිමේ තැනින් තැන මේ නිර්මාණයට අවශ්‍ය දේ නිමවමින් සිටින සේවකයෝ ද සිටිති. එක්‌ තැනක උණ පතුරින් සුන්දර සිත්තම් මවන පිරිසකි. තවත් තැනක දිගු කොණ්‌ඩා හණ නූලින් නිමවමින් සිටින ලලනාවන් ය.
පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ද, මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීර වැනි විදුරදයන් ද පණ්‌ඩුකාභය මාලිගාව නිරික්‍ෂණය කර එහි යම් යම් තැන් පිළිබදව අධ්‍යඬවරයාට කරුණු පෙන්වා දෙනු මම දුටිමි.

-අබා ශ්‍රී ලාංකීය සිනමාවේ දැවැන්ත වු සන්ධිස්‌ථානයක්‌ සටහන් කරන පෙර මග ලකුණු මට දැනේ. අබා අප ජාතියේ මුලකුරයි.


උපාලි සමරසිංහ- රසඳුන - 29/07/2007