රුහුණු මහා රාජවංශයේ උත්පත්ති කතාව

රුහුණු මහා රාජවංශයේ උත්පත්ති කතාව සිනමාවට නගමින් චිත්‍රපට කර්මාන්තයේ නවතම යුග පෙරළියක පෙරවදන ලියන්නට ජැක්‌සන් ඇන්තනී නම් වු ප්‍රවීණ ශිල්පියා සුදානම්වේ.

මේ ඔස්‌සේ අපේ අතීත වංශ කතාව හාරා අවුස්‌සමින් සිංහල සිනමාවේ වීර කතා අතරට අබා චරිතය ප්‍රවේශ වේ.

අබා ජැක්‌සන් ඇන්තනී විසින් තිර රචනය කර අධ්‍යක්‍ෂණය කරන නවතම දැවැන්ත සිනමා කෘතිය වේ.

අබා පණ්‌ඩුකාභය කුමාරයාගේ කතාවය. සිංහල සිනමාවේ ගතවු වසර හැට දෙස අවධානය යොමු කළහොත් ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපට නිර්මාණය වී ඇත්තේ හයක්‌ පමණි. ඒ අශෝකමාලා.සිරිසගබෝ. සංදේශය. සීගිරි කාශ්‍යප. වීරපුරන් අප්පු සහ වීර මද්දුම බණ්‌ඩාරය.

ජාතිකාභිමානය දේශානුරාගය වඩවන චිත්‍රපට භාරත සිනමාව තුළ නම් හිග නැත. එහෙත් ප්‍රෙ‍ෟඪ ඉතිහාසයකට උරුමකම් කියන අපට සිනමාකෘතීන් සදහා කොතරම් නම් වස්‌තු බීජ ඉතිහාසය තුළ සැගවී ඇත්ද.

මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය වසන් කරමින් සතුරු මානසිකත්වයක්‌ අපේ පරපුරට ලබාදීමට වගකිවයුත්තන් උත්සාහ දරන වකවානුවක ඉතිහාසට පුරා පැතිරුණු වීර කතා දේශිය සිනමාවට ඈදා ගැනීමට ජැක්‌සන් ඇන්තනී විසින් ගන්නා වු ප්‍රයත්නය ඉදිරියේදී වඩ වඩාත් ප්‍රසාදයට පත්වනු ඇත.

අපේ සිනමා නිර්මාණ තුළින් මෙතෙක්‌ කලක්‌ අප දුවුවේ ඛේදවාචකය, දුඛාන්තය, ඉරණම කරුමය, දුප්පත්කම මෙන්ම අසාධාරණය සහ සුරා කෑමත් එතුළ විය. එහෙත් අපේ ජන සමාජය අතරට වීරත්වය ජයග්‍රහණය, අභිමානය, දේශවාත්සල්‍ය සහ අභිමානයද ගෙන ඒමට සිනමාව පාදක කරගත හැකිය. අබා එවැන්නකි.

අබා හි වැඩ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ විණි. එහිදී මාධ්‍යවේදීන් අතට අබා ගැන ලියැවුණ ලිපි ගොනුවක්‌ ජැක්‌සන් ඇන්තනී විසින් පිළිගන්වන ලදී.

දුටුගැමුණු රඡ්ජුරුවන්ගේ පියා කාවන්තිස්‌සය. කාවන්තිස්‌ස ගේ පියා ගෝඨාභය. ගෝඨාභයගේ පියා යඨාල තිස්‌සය. යඨාල තිස්‌සගේ පියා මහනාගය. මහනාගගේ පියා මුටසීවය. මුටසීවගේ පියා පණ්‌ඩුකාභය. පණ්‌ඩුකාභයගේ පියා කවුද? ලෙස සදහන් වේ. මහාවංශය තුළ ගැටුමක්‌ මතු කර ඇති මේ ප්‍රවේණි ප්‍රශ්නයට සිනමානාත්මක පිළිතුරක්‌ අබා චිත්‍රපටය තුළින් සකස්‌ කරන බවද ජැක්‌සන් පවසයි.

මේ ජැක්‌සන්ගේ අදහස්‌ය.

මේක මගේ රටට මා විසින් කළ යුතු අනිවාර්ය සේවයක්‌. මම නිදහස්‌ අධ්‍ය‍පනයේ උගෙනුම ලැබුවෙක්‌. ඒ නිසා මම රටට ණයයි. ඉගෙන ගන්න මට වියදම් කළේ මගේ දෙමවුපියන් නොවේ. ගෙවන බදු හරහා මට වියදම් කළේ රටේ ඉන්න අනෙක්‌ දෙමව්පියන්. ඒ නිසා මේ ඓතිහාසික කාර්යය හරහා මම මගේ රටට සේවයක්‌ කරනවා. මම ඉතිහාසිය ඉගැන්වු පාසල් ගුරුවරුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, ඡේ. ආර්. පී. සුරියප්පෙරුම වගේම පුරා විද්‍යා චක්‍ර වර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ටත් මා තුති පුදනවා.

ඉතිහාසය අවලංගු කම්මැලි විෂයක්‌ කියමින් අමුතුම ආකාරයේ මතයක්‌ ගොඩ නැගෙද්දී අපට ප්‍රෙ‍ෟඪ ඉතිහාසයක්‌ ඇතැයි හඩ නගා කියන්න මට අවසර ලැබුණා. ඒ කිසිදු වෙළද වටිනාකමක්‌ නැති ශාස්‌ත්‍රීය වැඩ සටහනක්‌ වන මහා සිංහලේ වංශ කතාව ස්‌වර්ණවාහිනියේ 2002 සිට ඉදිරිපත් කරන්න ඉඩ දෙමින්. ඊට සහාය දුන් සෝමා එදිරිසිංහ මහත්මියට සහ ස්‌වර්ණවාහිනි තීරක තානාන්නරවලට මගේ ස්‌තුතිය පුදනවා.

ඒ වගේම මා අත තිබු අබා පිටපත සිනමාවට නැගීම සදහා මා සොයා ආ නිෂ්පාදකවරු දෙපල ජස්‌ටින් වෙලගමගේ සහ රැජින්දා ගුණසේකර යන අයටත් තුති පිදිය යුතුයි.

ජාතිවාදය ලෙසට මිශ්‍ර වී ඇති රටක ජාතිකත්වය පරිහරණය කළ යුත්තේ ප්‍රවේශමෙන් දේශමාමකත්වය,දේශාභිමානය වාත්සල්‍ය කියන වචන භාවිත කරන්නා ජාතිවාදියෙක්‌ ලෙයසි අද හැදින්වෙන්නේ.

ජාතිවාදය නමැති කිළි කුණෙන් දේශ වාත්සල්‍ය වෙන් කර ගැනීම හරියට කිරෙන් දිය වෙන්කර ගන්නවා වගේ, කලාව, සෞන්දර්ය. සිනමාව හරියට හංසයෙක්‌ වගේ. ඒ නිසා කලාවට විතරයි. ජාතිවාදය නමැති කිළිකුණ දේශවාත්සලයෙන් වෙන්කර ගැනීමේ කාර්යය කළ හැක්‌කේ.

ජාතිවාදයෙන් දේශවාත්සල්‍ය වෙන්කර ගැනීමේ කටයුත්තද අබා චිත්‍රපටය හරහා සිදු කිරිමයි මගේ අභිප්‍රාය වන්නේ.

ජැක්‌සන් අබා හි ප්‍රධාන භූමිකා සදහා සුදුස්‌සන් දැනටමත් තෝරාගෙන ඇත.

දොරමඩලා ගුරු ගෙදරදී කුල දරුවන් සසදහා ශිල්පි ර්යාණය ලබා දෙන පණ්‌ඩුල බ්‍රාහ්මණ ලෙස ප්‍රවීණ ශිල්පි රවින්ද්‍ර රන්දෙනිය වෙස්‌ ගැන්වේ. සිදුහත් කුමරුන්ගේ පිය රජු වු සුද්ධෝදන රජිදුන් ගේ පරපුරෙන් එන පණ්‌ඩුකාභ ගේ දු කුමරිය භද්‍රකචිචායනා ලෙස ලක්‌දිවට ගොඩ බැස පඩුවස්‌ දෙව් රජුගේ අග මෙහෙසිය වුවාය.

පඩුවස්‌ දෙව් රජුට දාව භද්‍රකච්චායනාගේ කුස උපන් උන්මාද චිත්‍රා ලෙස සබීතා පෙරේරාත්, උන්මාද චිත්‍රාට පෙම් බැදි දීග ගාමිණී ලෙෂ කාංචන කොඩිතුවක්‌කු රගති. සෞම්‍ය ලියනගේ හබරාය.

ගුම්බකබූත ලෙස දුලානි අනුරාධාත් පාරමුකයා සේ ශ්‍රියන්ත මෙන්ඩිස්‌ වෙස්‌ ගැන්වේ.

පඩුවස්‌දෙව් රජුගේ දරුවන් දස දෙනා අතර සිටින අභය ලුෂන් බුලත්සිංහලය තිස්‌ස කිංස්‌ලි ලෝස්‌ය, ගිරි ඛණ්‌ඩශිව මධුමාධව අරවින්දය, දීග ගාමිණී සමග උපතිස්‌ස නුවරට පැමිණෙන යක්‌ෂ ගෝත්‍රික සෙන්පතියන් දෙදෙනා වන චින්ත රාජ ලෙස බිමල් ජයකොඩි සහ කාලවේල සේ වසන්ත මොරගොඩත් වාසල පණික්‌කියා ලෙස වසන්ත දුක්‌ගන්නාරාළ රගති.

'අබා' සජිත අනුත්තරය. චන්ද්‍ර ලෙස කසුන් චාමරත්, කසුබු ලෙස ජනිත් බානුකත් රඟති. ඊට අමතරව අයිරාංගනී සේරසිංහ, විශාඛා සිරිවර්ධන, කුසුම් රේණු, චිත්‍රා වරකාගොඩ සහ ඩී.බී. ගංගොඩතැන්න, උදේනි සුබෝධ කුමාර, දිනූෂා රාජපතිරණ. ගාමිණී ජයලත් සහ ප්‍රියංකර රත්නායක 'අබා' හි රඟපාති.

සුමින්ද වීරසිංහ කැමරා අධ්‍යකෂනයෙන් ද අනුර විඡේසිංහ සහාය අධ්‍යකෂණයෙන් ද සමන්ප්‍රිය මාරසිංහ නිෂ්පාදන කළමණාකාරිත්වයෙන් ද 'අබා' සඳහා දායක වෙති. වසන්ත විට්‌ටච්චි වේෂ නිරූපණයෙන් ද ඩිල්නාත් සෙනෙවිරත්න වස්‌ත්‍රාභරණ අධ්‍යකෂණයෙන් සහ රවීන්ද්‍ර ගුරුගේ සංස්‌කරණයෙන් ද වසන්ත ශ්‍රීනාත් වස්‌ත්‍ර සටහන් නිර්මාණයෙන් ද 'අබා' සමඟ එක්‌වන අතර චන්දන වික්‍රමසිංහ නැටුම් අධ්‍යකෂණයෙන් සහ පී. කරුණාපාල අංගං සටන් පුහුණුවෙන් ද එක්‌වෙති. මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ගීත රචනා කරති.

'අබා' සඳහා උදේනි සුබෝධ කුමාර විසින් යෝධ පසු තලයක්‌ නිර්මාණය කරන අතර අබා චිත්‍රපටය දේශීය සිනමා වංශ කතාවේ නව පිටුවක්‌ නොව නව යුගයකට පදනම සකසන ආකෘතියක්‌ බව ප්‍රවීණ ශිල්පී රවීන්ද්‍ර රන්දෙනියගේ අදහසය. මෙතෙක්‌ සිංහල සිනමාවේ බිහිවූ දැවැන්තම චිත්‍රපටය බවට අබා පත්වනු ඇතැයි ද රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රවීණ රංගන ශිල්පියාගේ අදහසය.

දිවයින පුවත් පත - අජිත් අලහකෝන් (2007 ජූනී 08)