දුලානි අනුරාධා නම් ගුම්බක බූතා ඇයයි

'ගුම්බක භූතා' අපේ අනාගත සිනමා තිරය මත දිග හැරෙන තවත් අපූර්ව චරිතයක්‌. ඇය අප හමුවට එන්නේ ඓතිහාසික 'පඩූ අබා' කථා‍ පුවත කේන්ද්‍ර කර ගනිමිනි.

කවුද මේ ගුම්බක භූතා ? ඇය කෙබඳු තැනැත්තියක්‌ද?
මෙවන් කුහුලක්‌ දැනටමත් ඔබ සිත්හි පැන නැගී ඇතුවා නිසැකයි. එනිසාම ඇය ගැන කෙටියෙන් මෙහෙම හැඳින්වීමක්‌ කරන්නම්.
බිළිඳු පණ්‌ඩුකාභය කුමාරයාව හොර රහසේ රජ වාසලින් පිටමං කරන්නට 'හබරා' නම් වූ යක්‌ඛ ගෝත්‍රිකයාට උදව් උපකාර කරන්නේ ඇයයි. ගුම්බක බූතා සහ හබරා සිංහ වාංශිකයින්ට එරෙහිව යක්‌ඛ ගෝත්‍රිකයන් මෙහෙය වූ රහසිගත දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රධාන වග උත්තරකරුවන් දෙදෙනා ලෙසයි ජැක්‌සන් හඳුන්වා දී තිබෙන්නේ.

විශේෂයෙන්ම නර්තනයෙහි උපන් හපන්කම් දක්‌වන ගුම්බක බූතා දුටුවන් සිත් පැහැර ගන්නට සමත් රූ සපුවකට හිමිකම් පාන්නියක්‌.
මේ චරිතය සඳහා ගැළපෙන යුවතියක්‌ පිළිබඳ අධ්‍යක්‌ෂවරයාගේ සිතෙහි එක්‌තරා රුවක්‌ ඇදී තිබුණා. අපේ සිනමාවේ නැටුමට හපන් රුවත්තියන් කොපමණ සිටියත් පැක්‌සන්ට අවශ්‍යව තිබුණේ මේ චරිතය සඳහා අලුත්ම කෙනෙකුට අවස්‌ථාව ලබා දෙන්න. ඒ රුව හමුවන තුරු ඔහු බොහෝ කලක්‌ ඉවසිල්ලෙන් බලා සිටියා. අවසානයේ දී ඇගේ රුව අහම්බෙන් ඔහු නෙත ගැටුණා.
ඇය දුලානි අනුරාධා. හා හා පුරා ඇය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි අපේ මේ සූදානම. අප ඇයට ඇරයුම් කළා පුංචි පිළිසඳරකට එක්‌ වෙන්නයි කියා.

මම දුලානි අනුරාධා ප්‍රනාන්දු. පානදුර බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබුවේ. දැනට මම සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නර්ථනය හදාරනවා. මේ තුන්වැනි වසර. මගේ තාත්තා පී. විඡේසිරි. අම්මා සෝමලතා ගමගේ. දෙන්නම සේවය කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ. දැන් විශ්‍රාමිකයි. මට එක අයියා කෙනෙක්‌ ඉන්නවා. නම සමන් ලෝහිත ප්‍රනාන්දු. එයා සේවය කරන්නේ ඕමාන් නාවුක හමුදාවේ.

හීනයක්‌ තිබුණාද කවදා හරි නිළියක වෙනවා කියලා?
නැහැ. ඇත්තෙන්ම රංගනය ගැන මගේ එතරම් උනන්දුවක්‌ තිබුණේ නැහැ. මට ඕනෑ උනේ දක්‌ෂ නර්ථන ශිල්පිනියක්‌ වීමටයි. මම හීන මැව්වේ ඒකට. තරමක්‌ දුරකට ඒ හීනය අද හැබෑ වෙලා තියෙනවා.

ඒ කියන්නේ නිළියක්‌ වෙන්න අකමැතියි කියලද?
අයියෝ නැහැ. දැන් නම් මගේ හිතේ ලොකු ආසාවක්‌ තියෙනවා නිළියක වශයෙන් රංගන කේෂ්ත්‍රයේ ඉදිරි ගමනක්‌ යන්න. ඒ ආසාව, බලාපොරොත්තුව මගේ සිතේ ඇතිවුණේ ජැක්‌සන් ඇන්තනී මහතා මාව 'අබා' චිත්‍රපටයේ 'ගුම්බක භුත' චරිතයට තෝරා ගත්තට පස්‌සේ.

කොහොමද ඒ අවස්‌ථාව උදාවුණේ?
ඒක අහම්බයක්‌. 'සිරස' ආයතනය මගින් පැවැත්වූ 'සිරස' කුමරිය තේරිමේ තරඟයට මම චන්දන වීක්‍රමසිංහ ගුරුතුමාගේ නර්තන කණ්‌ඩායමේ සාමාජිකාවක්‌ විදිහට සහභාගී වුණා. මගේ නර්ථන හැකියාවන් දැකලා ජැක්‌සන් ඇන්තනි මහතා තමයි චන්දන වික්‍රමසිංහ ගුරුතුමා මාගෙන් මගේ වගතුග විමසා තිබෙන්නේ.

'අබා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ සඳහා ඔයාව තොරා ගත්තා කිව්වාම මොන වගේ හැඟීමක්‌ ද ඇති වුණේ?
ජැක්‌සන් ඇන්තනී මහතා මේ චිත්‍රපටය ගැනත්, මගේ චරිතය ගැනත් සැකෙවින් විස්‌තර කරලා මගේ කැමැත්ත මුලින්ම විමසුවා. ඇත්තෙන්ම මට එවෙලේ ඇස්‌ දෙක අදහා ගන්නත් බැරි උනා. ලොකු සතුටක්‌ වගේම කිසියම් චකිතයකුත් මගේ හිතේ ඇති වුණා.
ජැක්‌සන් ඇන්තනී වගේ විශිෂ්ඨ කලාකරුවෙකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණ අවස්‌ථාව කොයි තරම් ලොකු දෙයක්‌ද? අනෙක අපේ සිනමාවේ දැවැන්තම නිර්මාණය. අවසානයේදී ගෙදර අයගෙනුත් කැමැත්ත විමසලා මම එයට එකඟ වුණා.

අධ්‍යකෂවරයා මේ චරිතයට ඔයාවම තෝරා ගන්න හේතු වූ කාරණා විදිහට දුලානි මොනවද දකින්නේ?
ප්‍රධාන වශයෙන් මම හිතන්නේ නර්ථන හැකියාව වෙන්නැති. මොකද 'ගුම්බක බූතා' කියන්නේ ජැක්‌සන් මහතාගේ වචනවලින් ම කිව්වොත් සිත් අලවන සුලු නැටුම් හපන්කම් ඇත්තියක්‌නේ. ඒ හැරුණාම ඔහුගේ සිතේ ඇඳී තිබුණ චරිතයේ රුව හා මගේ රූපයේ සමානකමක්‌ තියෙන්නට ඇති.

ඉදිරියේදී නර්ථන ශිල්පිනියක්‌ වෙන්නද නැති නම් රංගන ශිල්පිනියක්‌ වෙන්නද ඔයා වඩාත් කැමැති?
මගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන නර්ථන ශිල්පිනියක්‌ විදිහට ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගනයෙන් හොඳ නිර්මාණ වලට දායක වෙන්නත් කැමැතියි. කොහොම වුණත් මගේ කුළුඳුල් රංගනයෙන් මට ලැබෙන 'අභිමානය' සහ 'ප්‍රතිරූපයට' හානිකර චරිත බාර ගන්නේ නම් නැහැ.

'සිරස' කුමරිය තේරිමේ තරඟයෙන් දුලානිටත් ජයග්‍රහණයක්‌ හිමි වුණාලු නේද?
'සිරස' කුමරිය තේරිමේ තරගයෙන් මට බුද්ධිමත් තරුණියට හිමි සම්මානය ලැබුණා.

අසංක දේවමිත්‍ර - සරසවිය ( 05/07/2007 )