තරුවකට පෙනුන තරු - ශ්‍රියන්ත මෙන්ඩිස්‌

මේ සිදුවීම මට විතරක්‌ නෙවෙයි ජැක්‌සන් ඇන්තනීටත් තරු පෙණුනු වැඩක්‌. ''පළිඟු මැණිකේ'' නාට්‍යය විකාශය වෙමින් තිබුණ කාලේ ඒ අතරෙම නාට්‍යයේ ඉතිරි කොටස්‌වල රූගත කිරිම් කෙරෙමින් තිබුණා. මම (සූරසේන) ජැක්‌සන් (විඡේපාල) සාමාන්‍යයෙන් පාරේ යන බස්‌ එකක නග්ගගෙන ටෙලි නාට්‍යයේ අධ්‍යක්‌ෂ ධම්ම ජාගොඩ මහත්මයයි, රචක සෝමවීර සේනානායක මහත්මයයි හික්‌කඩුවේ රූගත කිරිමකට යනවා. අපි බස්‌ එකේ එක්‌ක යන්නේ ජනප්‍රියත්වය කොහොමද කියලා බලන්නත් එක්‌කයි.

බස්‌ එකේ අය අපි දෙන්නව දැකලා හොඳටම කලබල වෙලා. නැගිටලා බලනවා, බෙල්ල දික්‌කරලා බලනවා. එක වැඩයි.
එක පාරටම එක මනුස්‌සයෙක්‌ ධම්ම මහත්මයයි, සෝමවීර මහත්මයයි පෙරලගෙන මගේ ළඟට ඇව්ත් මොකක්‌ද කියන්න හැදුවා.
සෝමවීර සේනානායක මහත්තය මට මොකක්‌ද කියන්න හැදුවා. ඒ එක්‌කම අර මනුස්‌සයා කියනවා '' පොඩ්ඩක්‌ ඉන්නකො සූරසේන අයියත් එක්‌ක මම කතා කරනකම්'' කියලා කිව්වා.

දැන් අපිටත් තේරුණ අපේ ජනප්‍රියත්වය කොච්චර ද කියලා. අපි බස්‌ එකෙන් බැහැලා ෂූටින් ඉවර කරලා හෝටලයට ආවා. ජැක්‌සනුයි මමයි රෑ වෙද්දි මදු ස්‌වල්පයකුත් පානය කළා. ඒ වෙලාවේ අපි කතා වුණා අපි තව ජනප්‍රිය වුණාම නම් කවදාවත් ගාලු පාරේ අඩ නිරුවතින්වත් නටන්න බැහැ කියලා.

ඒ නිසා අපි තීරණය කළා ගාලු පාරෙ අඩනිරුවතින් නටන්න. ඔන්න දෙන්නම සරං කෙටි වලින් අමුඩ ගහගෙන ගාලු පාර මැද ගෝත්‍රික නැටුමක්‌ නටන්න පටන් ගත්ත. ලයිට්‌ දාගෙන වාහන එනකොට හැංගෙනවා. ආයෙත් නටනවා. ඔහොම අපිට ඇති වෙනකම් නටලා හෝටලයට ගියා. පස්‌සෙන්දා උදේ තමයි තරු පෙනුනේ. ඒ ධම්ම මහත්තයයි, සෝමවීර මහත්තයයි කතා කරලා මේ ගැන අහද්දී.
වෙලා තියෙන්නේ මේකයි. අපේ ගෝත්‍රික නැටුම ළඟ ගෙදරක පිරිමි කෙනෙක්‌ බලන් ඉඳලා උදේ පාන්දර ධම්ම මහත්තයාට ඇවිත් කියලා. අර නළුවෝ දෙන්නා ජනප්‍රිය අය තමයි. ඒත් ඒ අයගේ හැසිරිම හරිම කැතයි. අන්තිමයි ඊයේ රෑ මහපාරේ හැසිරුණු හැටි කියලා.
අපි දෙන්නට ඒ ගැන පරික්‌ෂණයක්‌ පවා පැවැත්තුවා. ඒ වෙලාවෙනම් අපි දෙන්නා නාට්‍යයෙන් අයින් කරයි කියලා අපි දෙන්නටම තරු පෙනිලයි හිටියේ. තරු එළියේ නටපු නැටුම නිසා අපිට තරු පෙනුනේ එහෙමයි.

ඒත් වාසනාවකට අපිව අයින් කළේ නැහැ. ඊට පසේසේ කාලෙක සෝමවීර මහත්තය මට කිව්ව ''එදා පරික්‌ෂණය කරද්දිත් මම ධම්මට කිව්වා කොච්චර ජනප්‍රිය වුණත් උන් දෙන්න ඉන්නේ ඒ චරිතවලමයි කියලා'' හැබැයි එදා අපිව අයින් කළා නම් අපි දෙන්නම අද මෙතන නොඉන්න තිබුණා.

බෝගල සවුන්දිරිස්‌ රූගත කරද්දිත් තරු පෙනෙන වැඩක්‌ නොවෙයි ''මරු'' පෙනෙන වැඩක්‌ වුණා. කලා අධ්‍යකෂ චිත්‍රසේන ද සිල්වා සවුන්දිරිස්‌ගේ නවාතැන (වාඩිය) හරි අපූරුවට කහටගහපතල ළඟ හදලා තිබුණා. මැස්‌සක්‌ හදලා ඒක උඩ මුව හමක්‌ එලල තියෙනවා. හැමදාම ෂූටින් පටන් ගන්න කලින් මම ඒ මැස්‌ස උඩ ටිකක්‌ ඇලවෙලා ඉන්නවා.

එක දවසක්‌ මම එහෙම හිටියා. රූගත කරන්න තියෙන්නේ මම මැස්‌සේ නිදියගෙන ඉඳලා බැහැලා එළියට එන දර්ශනයක්‌. දයාරත්න රට ගෙදර කැමරා කෝණ හදලා රූගත කිරිම ඇරඹුවා. ඒ වෙද්දි මම පුරුදු විදිහටම මැස්‌ස උඩ ඇලවෙලා ඉන්නවා. මුව හමට යටින් මට උණුසුමක්‌ දැනුණ. මම හිතුව මුව හම නිසා වෙන්නැති කියලා.

ඔන්න මම මැස්‌සෙන් බැහැලා ඇවිදගෙන යනවා. ඔය දර්ශනය මැස්‌ස උඩ ඉඳගෙන රූගත කිරිමක්‌ තිබුණා.
කැමරා ශිල්පී අශෝක ජයසේකර මැස්‌ස උඩට නැග්ගා. මුවහම පෑගෙනවට චිත්‍රසේන කැමැති නැති නිසා එතන ඉඳපු කෙනෙක්‌ මුව හම අයින් කළා. හමයට තඩි නයෙක්‌ හරි පොළඟෙක්‌ හරි හිටියා. මට උණුසුම දැනිලා තියෙන්නේ ඒ සර්පයාගේ. ඌ එතනින් පැනලා කැලයට ගියා. ඒ නයෙක්‌ද පොළඟෙක්‌ ද කියලා තවම අපි දන්නේ නැහැ. හැබැයි ඌ ඇදිලා ගිය පැත්තට එදා ඉඳලා අපි කිව්වේ ''නයිස්‌ ප්ලේස්‌'' කියලා. හොඳ වැඩ කරනවා නම් නයෙක්‌ පොළඟෙක්‌ වුණත් කරදර කරන්නේ නැහැ කියලා එදා හිතුණා.

මේ 25 වැනිදට අපේ 22 වැනිදට විවාහ සංවත්සරේ වගේම මගේ උපන් දිනෙත් යෙදෙනවා. මගේ බිරිඳ කුසුම් හමුවීමත් තරු පෙනෙන වැඩක්‌. පණ්‌ඩුකාභය නාට්‍ය කරන කාලේ මම දීඝගාමිණී, කුසුම් උන්මාද චිත්‍රා, අපි දෙන්නා තරු එළියේ ගීතයක්‌ ගයන දර්ශනයක්‌ පුහුණුවෙන්න තිබුණා. ඒ ගීතය තමයි,

''තරු එළියෙන් ඔබ පෙනේ.... එක්‌ ටැම් මාලිගාවේ.....''
කියන ගීතය.

ඒ ගීතය පුහුණු වෙද්දී තමයි මගේ ජීවිතේ දුටු ආලෝකය, උණුසුම, දයාව, ප්‍රේමය කියන හැම දෙයක්‌ම ලැබුණ තරුව ලැබුණේ.
ජැක්‌සන්ගේ අබා චිත්‍රපයට රූගත කරද්දිත් තරු පෙනෙන දර්ශනයක්‌ කරන්න ලැබුණා.
අබා කියන්නේ ''පණ්‌ඩුකාභය'' කුමාරයා ගැන නිර්මාණය කළ චිත්‍රපටයක්‌. මම තමයි දොරමඩලාව ගමේ ප්‍රධානියා. නම ''පරමුඛයා''
එක දවසක්‌ ගමට ආපු හේවායෝ ගමට ගිනි තියනවා. ළමයි හොය හොයා මරණවා. පණ්‌ඩුකාභය කුමාරයා ඒ වෙද්දි පොකුණට ගිහින්.
පරමුඛයා ඒ ළමයි බේරගන්න පොකුණට දුවනවා. ඔහු පස්‌සෙන් අශ්වයෝ හයදෙනෙක්‌ එළවනවා. මේ දර්ශනයට මීටර් 200ක්‌ විතර වැව්තාවුල්ලක දුවන්න ඕන.

මොකද අශ්වයෝ මාව බිමදාගෙන පාගගෙන මගේ ඇඟ උඩින් දුවයි කියල. මට ඒ හැම දෙයක්‌ම එකින් එක මැවිලා පේන්න ගත්තා.
රූගත කිරිම ඇරඹුවා විතරයි ඒ බයටම මම පණ කඩාගෙන දිච්වා. පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ගත්ත අශ්වයින්ට මට ළං වෙන්නවත් බැරිවුණා. දර්ශනය හරි අපූරුවට තිබුණ කියලා කියපු ජැක්‌සන් ''පොඩි විවේකයක්‌ අරන් ආයෙත් ඒ වගේ දර්ශනයක්‌ ගමු. ඒක ප්‍රචාරක කටයුතු වලට පාව්ච්චි කරන්න පුළුවන්.'' කියලා කිව්වම තමයි මට ආයෙත් තරු පෙණුනේ.

ඒකත් මම කරා. හැබැයි ඒ වෙලේ නම් මගෙ කොන්දට උන්ගේ උණුසුම් හුස්‌ම වැදෙනවත් දැනුනා. හැබැයි උන් මාව යට කරගෙන දිව්වේ නැහැ. මොකද කලින් දුවල මට ඒ වෙද්දි හරි මහන්සියි. කලින් දුවපු දිවිල්ලට කට්‌ටිය මට 'ශ්‍රියන්තිකා' කියලා නමකුත් පට බැන්දා. මොකද සුසන්තිකා වගේ වේගයෙන් දිව්වා කියලා.

චම්ලි ඒකනායක - රිද්ම ( 21/10/2007 )