'අබා' ට එක්‌වන්න ලැබීම මගේ භාග්‍යයක්‌ - කාංචන කොඩිතුවක්‌කු

මේ වනවිට රිදී තිරයේ කැපී පෙනෙන නළුවා ලෙසින් ජනප්‍රියත්වයේ ඉහළම තලයක සිටින යොවුන පරපුරේ දක්‌ෂ නළු කංචන කොඩිතුවක්‌කුගේ අලුත්ම රංගනය ඓතිහාසික දීඝ ගාමිණී චරිතයයි. මේ ඒ වෙනුවෙන් කළ කථා බහකි.

අබා චිත්‍රපටයෙන්ම අපේ කතාබහ ආරම්භ කරමු. කොහොමද මේ පසුබිම නිර්මාණය වුනේ.
මේ වගේ චිත්‍රපටයක්‌ කරනවා කියන එක ජැක්‌සන් අයියා අවුරුදු එකහමාරක්‌ දෙකක්‌ ඉඳන් කිය කියා හිටියා. හැබැයි මට ඒකේ චරිතයක්‌ තියෙනවා කියන එකනම් කොයි වෙලාවකවත් කිව්වේ නැහැ.

එක දවසක්‌ ජැක්‌සන් අයියා මට කෝල් කරලා චිත්‍රපටය පටන් ගන්නවා කැරැක්‌ටර් එකක්‌ තියෙනවා වැඩ කරන්න කැමතිද? කියලා ඇහුවා. මම කිව්වා ඒ වගේ ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්න තියෙනවා නම් මොන වගේ චරිතයක්‌ ලැබුණත් මට ප්‍රශ්නයක්‌ නැහැ කියලා. නැහැ ඔයාට තියෙන්නේ අබාගේ තාත්තා දීඝ ගාමිණී කුමාරයාගේ චරිතය කිව්වාම මට ඇත්තටම විශ්වාස කරන්න බැරිවුණා. ඔය ඇත්තම ද කියලා මට ඉබේටම කියැවුණා.

දීඝ ගාමිණී කියන්නේ අපේ ඉතිහාසය තුළ සුවිශේෂී චරිතයක්‌. ඒ වගේ එකකට තෝරා ගත්තා කිව්වාම චකිතයක්‌ දැනුනේ නැද්ද?
පාසල් වේදිකාවේ දී (වේල්ස්‌ කුමාර) මම මේ චරිතය කරලා තිබ්බා. මේ වගේ ඉතිහාස කථා කරනකොට අපේ නාට්‍ය ගුරුතුමා තිස්‌ස ගුණවර්ධන සර් ඒ මුළු කථාවම අපිට කියවන්න දෙනවා. ඒක නිසා මේ මුළු කථාවම මගේ ඔළුවේ තිබුණා. නමුත් ෆිල්ම් එකේ මේක ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්‌. ලෝකෙටම ගෙනියන්න පුළුවන් නිර්මාණයක්‌ ඇතුළේ ලංකාවේ ජීවත් වෙච්ච ලංකාවේ අලුත් පිටුවක්‌ පෙරලන්න මූලික වූ කුමාරයෙක්‌ගේ චරිතයක්‌ රඟපාන්න හම්බ වෙනවා කිව්වාම ඇත්තටම මම මුලින්ම බය වුණා.
මම ජැක්‌සන් අයියගෙන් ඇහුවා අයියා හිතනවද මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. එයා කිව්වේ මට මේකේ හැම චරිතයක්‌ම වටිනවා. ඒ හින්දා හැම චරිතයක්‌මයි සීයට සීයක්‌ මම විශ්වාස කරනවා නම් කරන්න පුළුවන් කියලා. ඒ වගකීම තමයි අරගෙන තියෙන්නේ. ඒක නිසා ඔයා මේක කරනවාමයි කියලා දවසක මම ලොකු ආසාවකින් ඉන්නේ ඒක කරනකම්.

ඔබට මේකෙදී රඟපාන්න ලැබෙන්නේ සබීතා සමඟ. ඔබට පෙම් කරන්න වෙන්නේ ඇයට. මොකද හිතෙන්නේ සබීතා වැනි කෙනෙක්‌ සමඟ රඟපාන්න ලැබීම.

අපේ පරම්පරාවේ බහුතරයකට එයා එක්‌ක රඟපාන්න ලැබිලා නැහැ. සබීතා අක්‌කත් කාලෙකට පස්‌සේ රඟපාන්නේ මේ ෆිල්ම් එකේ. ඉතින් එයා එක්‌ක එකට වැඩ කරන්න ලැබීම ගැන මම ලොකු සන්තෝෂයකින් ඉන්නේ. ඒ වගේම මාලිනී අක්‌කා රවී අයියා අපිට ඉස්‌සෙල්ලා පරපුරේ සෞම්‍ය ලියනගේ අපේ පරපුරේ බිමල් ජයකොඩි ඔය වගේ පරම්පරා කීපයක්‌ එකතු වෙලා. හරියටම රංගන පාසලකට ගියා වගේ තියේවි.

දැවැන්ත නිර්මාණයක්‌. පසුතල දැවැන්තයි. රඟපාන්නේ දැවැන්ත ශිල්පීන් ලැබිලා තියෙන චරිත ගොඩාක්‌ අධ්‍යයනය කරලා කරන්න වෙන ඒවා. හරියටම රංගන පාසලක ප්‍රායෝගික අධ්‍යාපනයක්‌ වගේ වෙයි කියලා හිතෙනවා මේ ෆිල්ම් එක. ජැක්‌සන්ගේ තෝරා ගැනීම නම් හරියටම හරි කියලා හිතෙනවා. ඔබේ රූපකාය දීර්ඝ ගාමිණීට හරියටම ගැලපෙනවා. ඕනම කෙනෙකු ආකර්ෂණීය වෙන රූපයක්‌ ඔබට තියෙන්නේ. උන්මාද චිත්‍රාට ආයාසයක්‌ ගන්න අවශ්‍ය නැහැ. ප්‍රේම කරන්න අපි ඒ කතාව මෙතනින් නවත්තලා අනෙකුත් නිර්මාණ ගැන කතා කරමු.

නිලම්බරේ චිත්‍රපටයේ ඔබ කළ රංගනය බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්‌වුණා. ඔවුන් බොහෝ සේ එය අගය කළා. ඇත්තම කියනවා නම් ඩොමී ජයවර්ධනලා නැවත සිහිපත් වුණා. ඒ රංගනයෙන්.

ඒ චරිතය කරන්න පටන් ගන්නවා කියන කොටත් ගොඩාක්‌ ඇහුවා ඇයි මේ වගේ දුෂ්ට චරිතයක්‌ කරන්න යන්නේ කියලා. ඒත් මට අවශ්‍ය වී තිබුණේ විවිධ දේ කරන්න. ඇත්තටම මට හැම කෙනෙක්‌ගෙන්ම ඒකට ගොඩාක්‌ උදව් ලැබුණා. කැලුම් අයියා, රවී අයියා, සනත් අයියා, මට පිටිපස්‌සේ ඉඳගෙන විශාල කැපවීමක්‌ කළා. මේ චරිතය සාර්ථකව කර ගන්න.

ඔබ රැකියාවක්‌ කරන ගමන් රංගනයේ යෙදෙන්නේ. එය බාධාවක්‌ නෙමෙයිද රඟපෑමට.
කිසිම බාධාවක්‌ නැහැ. මට අවශ්‍ය නිදහස්‌ නිවාඩු හැම දෙයක්‌ම එතනින් ලැබෙනවා.

මොකක්‌ද රැකියාව?
කැමරන් ෆීල්ට්‌ මිඩීනා කියන දැන්වීම් ප්‍රචාරක සමාගමේ මහජන සම්බන්ධතා අංශයේ මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් වැඩ කරනවා.

ඔබ අද සම්මානනීය රංග ශිල්පියෙක්‌. මේ ගමනත් එක්‌ක පිටුපසින් සිටිය අය ගොඩාක්‌ ඇති.
ඇත්තටම මම අද මට මේ සම්මාන හැම එකක්‌ම ස්‌ටේඡ් එකට නැගලා ගන්න පුළුවන් විදිහට කකුල් දෙකෙන් මාව හිටෙව්වේ තිස්‌ස ගුණවර්ධන සර්. තවමත් මොනවා හරි කරනවානම් මම සර් හමුවෙලා උපදෙස්‌ ගන්නවා. ඊළඟට සෙනේෂ් අයියා. ආනන්ද අබේනායක මහත්මයා. ඒ අය අවධානමක්‌ අරගෙන ඒ ගොල්ලන්ගේ ප්‍රධාන පෙලේ චරිතයකින් මාව රූපවාහිනිය ඉස්‌සරහට ගෙනවා. ඒ දෙන්නා ගත්ත ඒ අවධානමට මම ස්‌තූතිවන්ත වෙනවා. ඒ වගේම කැලුම් අයියා මා කෙරෙහි තැබුව විශ්වාසයට සහ මගේ රැකියා ආයතනයේ කළමණාකාර අධ්‍යකෂ ජයන්ත සිත්තම්පලම් මහතා විශාල සහයෝගයක්‌ දෙනවා.

චන්ද්‍රසිරි ලියනාරච්චි - සරසවිය ( 28/06/2007 )